Wednesday, December 21, 2016

ඒ අසුන මඟ හරින්නේම ඒකද

ඒ අසුන ඔබට
මඟ හැරුනේ කොහොමද?

ඔබ නමින් මම
හිතින් වෙන් කළ 
ඒ හිඩැස ඔබ
නොදැක්කේ කොහොමද?

දිගු නොමැති, අපිලිවෙළ
ඇහිබැමට යටින් වන
ගිලුණු ඇස් පුංචි කර
ඔබට පා කළ ඉඟිය 
මඟ හැරුණේ කොහොමද?

නා දල්ලක නොවන
අව පැහැති දෙතොලකින්
"ආදරේයි  මම" කියන්නම බැරිද
ඔබට ඒ හඬ ඇහෙන්නේම නැතිද?

රෝස පෙති මත ලියන්නම ඕනේද?
කවියක් උනත් දකින්නේ එහෙමද?
තෝඩු පැලඳියම යුුතුමද?
ආදරේටත් මොස්තර ඕනමද?

සඳට කවි ලියන නුඹේ ඔය හිත,
සඳක් නොපතන්නේ නොමවේද?
ඉතිං මහ අරුමයක්මද
ඒ අසුන නුඹ මඟ හරින එක.

කවියෙක් එක්ක තාලෙට
කවිකමට පය තියන්නම බැරිද?
දැක දැකත් නොදැක ඔබ 
ඒ අසුන මඟ හරින්නේම ඒකද?

Thursday, December 15, 2016

ඉර ඈත සැඟව යන්නේ
ක්ෂිතිජයත් පසුකරම විය යුතු ය.

හෙට ඇවිත් පවසන්න,
ඒ ගගන සිප ගන්න විට
මේ සයුර නිසලවම උන්නා ද
නැතොත් සයුර හද නැගුන
සුසූම් සුළි දුටුවා ද


බිදෙන මේ රළ පෙළ
අතුල් පහරකි වෙරළ කිව්වට
මට හිතෙන්නේම දියඹ සිට
අරන් එන්නේම ආදරේ වග

ඒ නිසාමනේ
වෙරළ මා තැබු සලකුණක්
එසැණවිත් මකා දැම්මේ රළත්,

ඉර ඈත සැගව යන්නේ,
මේ සයුර, එ් ගගන සිප ගන්න තැන පසු කරද
හෙට ඇවිත් පවසන්න,
මටත් වෙරළෙන් සමු ගන්න..


Wednesday, December 7, 2016

මතක දුහුවිලි පිරී ගිය
මාවතක් ඇත.
ඔබ නැතුව මම තනිව ඇවිදින...


විටෙක ඉද හිට ඔබව හමුවන
විසල් වන මේ දෑස් මත්තට
දුලි අහුරක් ඉහ එසැණ ඔබ
පලා යන හැටි ඉගෙන ගෙන ඇත.


මතක දුහුවිලි පිරි ගිය
මාවතක් ඇත.
මා නමින් ලකුණක් ඉතිරි කළ...

Saturday, December 3, 2016

බලන් ඉමි.

නිහඬ වෙමි.
සිතුවිලිත් නිදි බැවින්,
කෙටි සුසූම් ඇහැරවමි..
සඳත් අද දුර බැවින්.

සවන් දෙමි.
පවන ගයනා බැවින්,
දිගු රැයම නොනිදමි..
සිහිනයක් නැති බැවින්.

බලන් ඉමි.
රළ වෙරළ සිබිනා බැවින්,
දිනෙක අතහැර යමි..
ක්ෂිතිජයම දකිනා බැවින්.