ඒ අසුන ඔබට
මඟ හැරුනේ කොහොමද?
ඔබ නමින් මම
හිතින් වෙන් කළ
ඒ හිඩැස ඔබ
නොදැක්කේ කොහොමද?
දිගු නොමැති, අපිලිවෙළ
ඇහිබැමට යටින් වන
ගිලුණු ඇස් පුංචි කර
ඔබට පා කළ ඉඟිය
මඟ හැරුණේ කොහොමද?
නා දල්ලක නොවන
අව පැහැති දෙතොලකින්
"ආදරේයි මම" කියන්නම බැරිද
ඔබට ඒ හඬ ඇහෙන්නේම නැතිද?
රෝස පෙති මත ලියන්නම ඕනේද?
කවියක් උනත් දකින්නේ එහෙමද?
තෝඩු පැලඳියම යුුතුමද?
ආදරේටත් මොස්තර ඕනමද?
සඳට කවි ලියන නුඹේ ඔය හිත,
සඳක් නොපතන්නේ නොමවේද?
ඉතිං මහ අරුමයක්මද
ඒ අසුන නුඹ මඟ හරින එක.
කවියෙක් එක්ක තාලෙට
කවිකමට පය තියන්නම බැරිද?
දැක දැකත් නොදැක ඔබ
ඒ අසුන මඟ හරින්නේම ඒකද?